Wednesday, December 30, 2009

JQuery වලින් ලේසියෙන්ම AJAX ගොඩදාන්න

ඔන්න 2009 යෙ අන්තිම සටහනින් කියල දෙන්න යන්නෙ JQuery පාඩමක්. කට්ටියට මතකද දන්නෑ මම කලින් JQuery වලට හීනියට වගේ හැඳින්වීමක් දුන්න. කොහෙ මතක හිටින්නද ඔව්ව නේද? මෙතනට කොටල ඒක පොඩ්ඩක් බලල හිටියනං.

අද මොකක්ද කරන්න යන්නෙ ?

අද මම කියල දෙන්න යන්නෙ ඔය Web Site හදද්දි ගොඩක් වෙලාවට කරන්න ඕන වෙන දෙයක් JQuery සහ AJAX පාවිච්චි කරල ලේසියෙන්, ලස්සනට කරගන්න හැටි. මෙහෙමයි සිද්දිය, පහල තියන රූපෙ බලල ඉන්නකො.



දැනට හිතන්නකො ඔය තියෙන්නෙ අපේ Web Site එකේ සැළැස්ම කියල. හිතන්න ඔය "C" කියන කොටසෙ තියන links වලට කොටපුවාම "B" කොටසෙ තියන "main" කියන div එකේ වෙනස් වෙනස් දේවල් පෙන්වගන්න ඕන වෙනව කියල. තේරුණාද මන්ද? සිංහලෙන්ම කියනවනම් links click කළාම main div එකට load කරන content එක වෙනස් කරන්න ඕන කියල. දැන් තේරෙන්න ඇතිනෙ.

ඔය වැඩේ කරගන්න අපි වෙනම pages හදල links වලට කොටද්දි එව්ව load කරන්න ගියොත් අපරාදයක් වෙනව. මොකද එතකොට "A" සහ "C" කියන කොටස් වල තියන දේවලුත් නිකන් බොරුවට ආයෙමත් load කරන්න වෙනව. ඔන්න ඕක හින්ද තමයි අපි AJAX පාවිච්චි කරන්නෙ. එතකොට page refresh එකක් නැතිවම අපිට පුලුවන් ඕන කරන වැඩේ කරගන්න.

කොහොමද කරන්නෙ ?

මෙහෙමයි, මුලින්ම මම විස්තර කරන්න යන උදාහරණෙ බාගන්නකො.


ඕක මම හදපු පොඩි උදාහරණයක්. බාගත්තු එකේ තියන code කෑලි තමයි මම විස්තර කරන්න යන්නෙ. කෝකටත් කලින් index.html file එක browser එකේ open කරල බලන්නකො. පහළ තියන රූපෙ වගේ එකක්නෙ එන්නෙ.



ඔයාලට පේනව නේද "Home", "About" සහ "Contact Us" කියල links තුනක්. එව්වට කොටල බන්නකො වෙනස් වෙන හැටි. අන්තිම එකේ තියන අවුල දැනට ගනන් ගන්න එපා. මම ඔය උදාහරණෙ හැදුවෙ අර උඩින් ව්ස්තර කරපු සිද්දියට අදාලව. දැන් අපි බලමු code එක. index.html file එක ඔයාලඟ තියන text editor එකෙන් open කරගන්නකො. මුලින්ම බලන්න ඒකෙ තියනව නේද කියල මේ පහළ තියනව වගේ code කෑල්ලක්.

<script src="jquery-1.3.1.min.js" type="text/javascript" ></script>

අන්න ඒකෙන් තමයි මම JQuery link කරල තියෙන්නෙ. සාමාන්‍ය JavaScript එකක් link කරන විදිහටම තමයි. ඊළඟට බලන්න මේ පහළ තියන JavaScript කෑල්ල තියනව නේද කියල.

අපි ලියන හැම event එකක්ම ලියන්න ඕන $(document).ready කියන function එක ඇතුලෙ. ඒකයි එහෙම එකක් තියෙන්නෙ හොඳද. ඔතන මම කරල තියෙන්නෙ අපේ තියන links වලට id දීල එව්වල click event වලට function ලියල තියන එක. මම ඔතනදි එකම වැඩේ කරගන්න ක්‍රම තුනක් තමයි පෙන්නල තියෙන්නෙ.

මුලින්ම බලන්න 5 වෙනි පේළිය, ඒකෙන් තමයි මම "Home" කියන link එක click කරද්දි ( id එක "link1" ) home.html file එක main div එකට load කරන්නෙ. ඔය තමයි සරළම විදිහට JQuery වලින් AJAX request එකක් කරන. ඊලඟට බලන්නකො 9 වෙනි පේළිය, ඒකෙන් "About" කියන link එක click කරද්දි ( id එක "link2" ) about.html file එක main div එකට load කරනව.

හැබැයි මේක කලින් එකට වඩා වෙනස්, අපිට පුලුවන් එක එක effects දාල ලස්සන කරගන්න. beforeSend සහ success කියන functions ඇතුලෙ තමයි එව්ව ලියන්න ඕන. දාන්න පුලුවන් effects ගැන මෙතනින් බලන්නකො. දැන් 3 වෙනි පේළිය බලන්න, ඒක මම comment කරලනෙ තියෙන්නෙ. ඒකෙ comment නැතිකලොත් page එක load වෙද්දිම main div එකට home.html file එක load වෙනව. කට්ටියට තේරෙනවද මන්ද කියන එව්ව.

අන්තිමටම 23 වෙනි පේළිය, ඒකෙ කරල තියෙන්නෙ වෙනස්ම දෙයක්. ඒකෙදි මම data අරගන තියෙන්නෙ boo.php කියන php file එකෙන්. වැඩිය අමාරු නෑ, පොඩ්ඩක් බලපුවාම වැඩේ තේරෙයි. ඕක හරි විදිහට වැඩ කරන්නනම් XAMPP වගේ PHP තියන server එකක run කරල බලන්න ඕන.

ඔන්න එහෙනම් දැන් JQuery වලින් AJAX ගොඩදාන එක ගේමක් නෙවෙයිනෙ. කරලම බලන එක තමයි වඩාත් හොඳ. අවුල් තියනවනම් අහන්නකො. කියවල බලල ප්‍රතිචාරයක් දෙන්නත් අමතක කරන්න එපා. ඉවර කරන්න කලින් ප්‍රාර්ථනා කරනව 2010 අවුරුද්ද අපි හැමෝටම සුභම සුභ එකක් වේවා කියල. ඔබට ජය !

Tuesday, December 29, 2009

LinkWithin, ලියන සටහන් කියවන අයට පේන්න තියන්න

බ්ලොග් ලියන කවුරුත් වගේ දන්නවනෙ ඉතින් ලෝකෙ නැති වැඩ අස්සෙ වෙලාවක් හොයාගන අලුත් සටහනක් බ්ලොග් එකට ලියල දාන්න තියන අමාරුව. හැබැයි ඉතින් ඒ දාපු සටහන කියවල කට්ටිය දෙන ප්‍රතිචාර කියවද්දි දැනන සතුටත් වචන වලින් කියන්න බැරි තරම්. අද මම කියන්න යන්නෙ අපි අමාරුවෙන් ලියන සටහන ගොඩක් කියවන කට්ටිය අතරට යවාගන්න පාවිච්චි කරන්න පුලුවන් පොඩි ගැජට් එකක් ගැන.

මේකට කියන්නෙ LinkWithin කියල. ගොඩක් කට්ටිය නම කියපු ගමන් දන්නව ඇති. තවමත් මේ ගැජට් එක දාගන නැති කට්ටියට කියන්නම්කො විස්තරේ. මේකෙන් වෙන්නෙ අපි ලියන සටහන යටින් තවත් අපි කලින් ලියපු සටහන් ටිකක් එව්වගෙ තියන පින්තූරෙකුත් එක්ක ලස්සනට පෙන්වන එක. පහළ තියන රූපෙ බැලුවොත් සිද්දිය පැහැදිළි වෙයි.



මේ ගැජට් එක free එකක්, ඒ වගේම මේක අපේ බ්ලොග් එකට දාගන්න ලොකු ගේමක් දෙන්න ඕනත් නෑ. Register වෙන්න ඕනත් නෑ. ඔයාට කරන්න තියෙන්නෙ බ්ලොග් එකට ලොග් වෙලා මෙතනට (LinkWithin Site) ගිහින් ගැජට් එක දාගන්න එක විතරයි.

ඔයාගෙ බ්ලොග් එක Blogger බ්ලොග් එකක්නම් දැම්මට පස්සෙ Layout page එකට ගිහිල්ල Blog Posts කියන Gadget එකට යටින් මේ අලුත් Gadget එක දාන එක තමයි ගොඩක් හොඳ. හැබැයි ඒකෙ default title එක එන්නෙ "You might also like:" කියල. ඒක සිංහලෙන් දාන්නනම් පහළ තියන code එක Gadget එකේ edit mode එකට ගිහින් paste කරන්න. රූපෙ බැලුවොත් පැහැදිළි වෙයි.

<script>linkwithin_text='මෙව්වත් කියවල බලන්න :'</script>



ප්‍රශ්ණ තියනවනම් ඒ කට්ටියගෙන්ම අහන්නත් පුලුවන්. දාල බලල අල්ලන්නෙ නෑ වගේනම් අයින් කරල දාන්න තියෙන්නෙ. කෝකටත් දාගනම බලන්නකො. එහෙනම් සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !

Monday, December 28, 2009

Blogger බ්ලොග් එකට නිවැරදිව META Tag දාමු

මට මේ සටහන ලියන්න හිතුනෙ මගෙ කඩ්ඩ බ්ලොග් එකට META Tag දාන්න ගිහින් වෙච්ච අකරතැබ්බියක් හින්ද. මුලින්ම කියන්න ඕන අද තියන Search Engine ඔය META Tag වල එන "Keywords" Tag එක ගැන එච්චර උනන්දුවක් නෑ කියල. "Description" tag එකේ තියන එකනම් search result වල result එකට යටින් පෙන්නනව දැකල තියනව.

මමත් ඉතින් ඔන්න ඔහෙ ඕන එකක් කියල බ්ලොග් එකට META Tag දැම්ම. මෙන්න ටික දවසකින් බලද්දි Webmaster Tools වල HTML suggestions ඇවිල්ල. Duplicate meta descriptions තියනව, එව්ව අයින් කරගන්න කියල තමයි කියන්නෙ. මදැයි වැඩි හොඳට කියල META Tag දාන්න ගියා. පහල තියන රූපෙ බලන්නකො මට වෙච්ච දේ බලාගන්න.



පොඩ්ඩක් හොයල බලද්දි හොයාගන්න පුලුවන්වුනා අවුලක් වෙන්නෙ නැතිවෙන්න META Tag දාන්න විදිහක්, කට්ටියටම දැනගන්න මුල ඉඳන්ම කරන හැටි කියන්නම්කො.

1. මුලින්ම dashboard එකට ලොග් වෙලා "Layout --> Edit HTML" යන්න. එතකොට එන්නෙ පහල තියන රූපෙ වගේ එකක්නෙ, ඒකෙන් හොයාගන්න <b:include data='blog' name='all-head-content'/> තියන තැන. ඒහ තියෙන්නෙ <head > tag එකයි </head> tag එකයි මැද්දෙ හොඳද. Ctrl + F පාවිච්චිකරල හෙව්වනම් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්.



2. දැන් අර හොයාගත්තු එකට පහලින් මෙන්න මේටික paste කරන්න. වෙනසක් කරන්න කලින් ඔයාගෙ දැනට තියන template එකේ backup එකක් ගන්නත් අමතක කරන්න එපා හොඳද.

<b:if cond='data:blog.url == data:blog.homepageUrl'>
<meta content='මෙතන description එක දාන්න' name='description'/>
<meta content='මෙතන keywords දාන්න' name='keywords'/>
<meta content='මෙතන ඔයාගෙ නම ඇතුලත් කරන්න' name='author'/>
</b:if>

මෙතනදි කරල තියෙන්නෙ අපේ home page එකට විතරක් keywords සහ description එක දාන එක. Description එක ඇතුලත් කරද්දි අකුරු 200 කට වඩා දිග එකක් නොදෙන තරමට තමයි වඩා හොඳ. Keywords දෙද්දිත් 20 කට වඩා දෙන්න ඕන නෑ. එකම වචනෙ තුන් පාරකට වඩා දෙන එකත් ඇඟට ගුන නෑ.

වැඩේ ඉවර උනාට පස්සෙ save කරන්න. අවුලක් නෑ නේද? තියනවනම් අහන්න ඕන හොඳද. කියවල ඉවර වෙලා පහල තියන කොටුවෙ මොනවහරි ලියල යන්නත් අමතක කරන්න එපා. ඔබට ජය !

Sunday, December 27, 2009

JQuery, පොඩ්ඩක් ලියල වැඩ ගොඩක් දාන්න

නත්තලුත් ඉවරයි, දැන් ඉතින් ආයෙත් වැඩ. අද මම කියන්න යන්නෙ Web Site හදන අයට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. හැමෝම දන්නව ඇතිනෙ JavaScript ගැන. අපිට ගොඩක් වෙලාවට JavaScript වලින් එක ඒක ජාතියෙ වැඩ කරගන්න පුලුවන්නෙ. JQuery කියන්නෙත් අන්න ඒ වගේ JavaScript Library එකක්. මෙතනදි තියන විශේෂත්වය තමයි JQuery පාවිච්චි කරල අපිට පුලුවන් පොඩි code කෑල්ලක් ලියල ලොකු වැඩක් කරගන්න.

ඊලඟට තියන වැදගත්ම දේ තමයි මේක free and open source වීම. ඇත්තටම අද වෙනකොට JQuery ලෝකෙ තියන ජනප්‍රියම JavaScript Library එක වෙලාතියනව, ඒකට මෙන්න මේ දේවල් උදව් වෙලා තියනව.

1. Lightweight - Link කරන්න ඕන file එක 19KB තරම් කුඩා එකක් වීම.
2. Cross-browser - දැනට තියන ඕනැම browser එකක අවුලක් නැතිව වැඩ කිරීම.
3. CSS3- Compliant - CSS අනුකූලතාවය.

JQuery පාවිච්චි කරල අපිට Document Navigating, DOM Element Selecting , Creating Animations, Event Handling සහ Ajax Development වගේ දේවල් ගොඩාක් ලේසියෙන්ම කරගන්න පුලුවන්. වැඩි කතා ඕන නෑ, මේ උදාහරණ ටික බලන්නකො.

1. AJAX Interface using JQuery/PHP
2. Create an Accessible Slideshow Using jQuery
3. JQuery Photo Slider with Semi Transparent Caption
4. Create a Vertical Scrolling Menu with Tooltips

ඔය තියෙන්නෙ කරගන්න පුලුවන් වැඩ වලින් චූට්ටක් විතරයි. ඔය හැම දෙයක්ම කරගන්න අපිට කරන්න තියෙන්නෙ එක JavaScript file එකක් අපේ site එකට link කරගන්න විතරයි. JQuery site එකට ගිහින් ඒක බාගන්න පුලුවන්. තව උදාහරණ ගොඩක් මෙතනින් බලාගන්න පුලුවන්. මුලින්ම මේක බලල ඉන්න එක තමයි වඩා හොඳ.

එහෙනම් මේ සටහනත් ඉවරයි. ඉස්සරහට කියන්නම්කො JQuery පාවිච්චි කරල කරල තියන තවත් වැඩ. ඔන්න කියවල බලල ප්‍රතිචාරයක් දෙන්නත් අමතක කරන්න එපා හොඳද. ඔබට ජය !

Thursday, December 24, 2009

Admin බලතල නැතුව Portable Firefox වලට Flash Player දාමු

අදත් මම කියල දෙන්න යන්නෙ පොඩි වැඩක් කරන හැටි, හැබැයි වැඩේ පොඩි උනාට සමහර වෙලාවට ගොඩක් ප්‍රයෝජනවත්. මේක මට හම්මවුනේ lab එකට වෙලා FaceBook එකේ රස්තියාදු ගහන වෙලාවක. මෙහෙමයි සිද්දිය.

ඒ දවස්වල මට Barn Buddy උණ තිබිච්ච කාලෙ. පොඩි වෙලාවක් හම්බෙච්ච ගමන් කරන්නෙ හොරකමේ යන එක. ඔන්න ඉතින් වෙලාවක් හොයාගන lab එකට ආව පලදාව නෙලාගන්න කියල. කොහෙ නෙලන්නද, මෙන්න කියනව Flash Player එක update කරගන්න කියල. අපිට ඉතින් මෙව්වගෙ admin බලතල නැති හින්ද ඒ වැඩේ හරියන්නෙ නෑනෙ, ඕකට විසඳුමක් හොයද්දි තමයි මට Portable Firefox මතක් උනේ. ඔය වගේ වෙලාවට ඉතින් අපි කාගෙත් පිහිටට ඉන්නෙ Google නෙ. Google ගෙන් අහපුවාම ගොඩදාගන්න විදිහක් හම්බ වුනා. කට්ටියටම දැනගන මම පියවරවල් ටික කියන්නම්කො. හැම දෙනාටම තේරෙන විදිහට ගොඩක් සරළවම කියන්නම්.

1. මුලින්ම මෙතනින් Portable Firefox බාගන install කරගන්න. Admin බලතල නැත්නම් ගොඩක් වෙලාවට C: drive එකට install කරන්න දෙන්නෙ නෑ. එහෙම උනොත් වෙන drive එකකට හරි pen එකකට හරි තමයි install කරන්න වෙන්නෙ.

2. ඊට පස්සෙ මෙතන Right Click කරල "Save Link As" දීල කොහෙ හරි ඉඩ තියන තැනකට බාගන්න.

3. දැන් අර "Save Link As" කියල දීල බාගත්තු එකේ අගට ඇත්තෙ .xpi කියල, ඒක .zip කියල වෙනස් කරන්න. අගට තියන .xpi පෙන්නන්නෙ නැත්නම් Folder Option වල View Tab එකට ගිහින් "Hide extensions for known file types" කියන එක ඉස්සරහින් තියන Mark එක අයින් කරන්න. එතකොට පෙනෙයි.

4. දැන් WinZip හරි WinRAR හරි පාවිච්චිකරල ඒක extract කරගන්න, ඒක ඇතුලෙ ඇති flashplayer.xpt සහ NPSWF32.dll කියල file දෙකක්. අන්න ඒ දෙක copy කරගන්න.

5. දැන් Portable Firefox install වෙලා තියන තැනට යන්න. ඒකෙ App කියන folder එක ඇතුලෙ Firefox කියල තවත් folder එකක් ඇති, ඒකට ගියහම plugins කියල folder එකක් හොයාගන්න පුළුවන් වෙයි, අන්න ඒක ඇතුලට copy කරගත්තු files දෙක paste කරන්න.

දැන් වැඩේ ඉවරයි, Portable Firefox restart කරල බලන්නකො. පොතේ හැටියටනම් ගොඩ ගිහින් තියෙන්න ඕන. අවුල් තියනවනම් අහන්නකො. එහෙනම් මේ සටහන දැන් ඉවර කරන්නයි යන්නෙ. කියවල බලල ප්‍රතිචාරයක් දෙන්නත් අමතක කරන්න එපා හොඳද. ඔබට ජය !

Wednesday, December 23, 2009

Virus වලින් සැඟවුන Folders ගොඩගන්න හැටි

Windows ඉතින් virus අතින් ගත්තහම අලනෙ. මේ කියන්න යන්නෙත් ඒ වගේ virus ඒකක් හින්ද වෙන්න ගිය ඇබැද්දියක් ගැන. අපිට ඉතින් campus ඒකේ තියනවනෙ නානාප්‍රකාර assignments. කීයක් තිබ්බත් ඔක්ක්කොම කරන්න මතක් වෙන්නෙ අන්තිම මොහොතෙ තමයි.

වෙනද වගේම කලින් දවසෙ රෑ දඩ බඩ ගාල assignment එක ඉවර කරල pen drive එකට දාගත්ත copy එකක්. පහුවදා උදේ lab එකට ගියා upload කරන්න කියල හිතාගන. ගිහිල්ල pen එක ගහපුවාම ඒකෙ තිබිච්ච එක folder එකකටවත් වෙච්ච දෙයක් නෑ. මගෙ assignment එක තිබුනෙත් folder එකක් ඇතුලෙ. මට හොඳටම sure මම කලින් දවසෙ ඒක pen එකට දැම්ම කියලත්.

Virus වල රාජකාරි දන්න හින්ද මට තේරුනා එහෙම වෙච්ච වැඩක් තමයි කියල. කෝකටත් කියල Folder Option යන්න බලද්දි ඒ option එකත් අතුරු දහන්. අහල පහල තිබ්බ computer වලත් Folder Option අතුරුදහන්. එව්වත් ඉතින් virus වල වැඩම තමයි. මෙව්වගෙ admin බලතලත් අපිට නැති එකේ Folder Option ගොඩ දාන එක පැත්තකින් තියල මම assignment එක ගොඩ ගන්න විදිහක් කල්පනා කෙරුව, මොකද දැන්ම upload කලේ නැත්නම් late submission, එහෙම වෙලා හම්බෙන ලකුණු ටිකෙනුත් තව කීයක් හරි කැපුනොත් ඉතුරු වෙන්න දෙයක් නෑ. ඔහොම කල්පනා කරනකොට තමයි මට මතක් උනේ "attrib" command එක. ඒ command එකෙන් අපිට පුලුවන් Command Prompt පාවිච්චි කරල files සහ folders වල උපලක්ෂණ (attributes) වෙනස් කරන්න. මෙහෙමයි කරන පිළිවෙල,

Command Prompt එක open කරගන පහල තියන command ටික එකින් එක දෙන්න. මෙතන මම උපකල්පනය කරල තියනව pen එකේ letter එක "G" කියල ( දෙවෙනි පේළිය ), එතනට දෙන්න ඕන ඔයාගෙ pen එකට දැනට පෙන්වන letter එක.

cd\
G:
attrib -r -s -h /s /d

වැඩේ ඉවර වෙලා බලද්දි මෙන්න අර හැන්ගිලා තිබිච්ච folders ටික උඩට ඇවිල්ල. මම දඩ බඩ ගාල assignment එක upload කරල දැම්ම, නැත්නම් ඉතින් sorry තමයි. මේ වැඩේ ඉතින් හැමදාමත් කරන්න බෑනෙ, අනික සමහර computers වල Command Prompt එකත් අල. ඒක හින්ද මම හදාගත්ත .bat file එකක්. ඒක pen එකේ දාල තියාගත්තහම folders hide වෙලානම් .bat file එක double click කරන්න විතරයි තියෙන්නෙ. මෙහෙමයි bat file එක හදාගන්න පිළිවෙල,

1. මුලින්ම අලුත් Text Document එකක් හදාගන්න, ඒකට මේ පහල තියන පේළි ටික paste කරල save කරගන්න.

@echo Searching for hidden files...
@attrib -r -s -h /s /d
@echo All Done
@pause

2. ඊට පස්සෙ අග තියන .txt කියන එක .bat විදිහට වෙනස් කරන්න. දැන් හදා ගත්තු file එකේ copy එකක් pen එකේ folders වලින් පිට තියා ගන්න. එතකොට කොයි වෙලේ හරි folders hide උනොත් ලේසියෙන්ම ගොඩ ගන්න පුලුවන්.

මටනම් මේක ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනව. මොකද ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ lab එකේ හින්ද virus වලින් නිතරම pen එකට කරදර හිරිහැර වෙනව. මම හිතනව ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියල. එහෙනම් ඉතින් මේ සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !

Windows මකපු GRUB2 ගොඩදැමීම ( බාගෙට )

කට්ටියට මතකයිනෙ මට වෙච්ච ඇබැද්දිය, Ubuntu 9.10 තිබිච්ච මැසිමට Windows XP_sp2 දාන්න ගියාම GRUB එක load වෙන්නෙ නැතුව ගියානෙ. Ubuntu 9.10 වල තියෙන්නෙ GRUB2 හින්ද පරන විදිහට ගොඩයන්නත් බෑනෙ. මම ඉතින් මගෙ දුක කියල දාපු මේ සහහනට ගොඩක් අය ප්‍රතිචාර දක්වල තිබුන. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ ප්‍රතිචාර වල තිබිච්ච දේවල්වලයි Google ගෙයි සරණයි කියල හිතාගන මම ඊයෙ රෑම වැඩේට බැස්ස.

මම ටිකක් රෑ වෙලා තමයි වැඩේ පටන් ගත්තෙ. එක එක ජාතියෙ forum , web site වල රස්තියාදු වෙලා ඒ වෙනකොටත් හොඳ පන ගිහින් තිබුනෙ. කොහොම හරි අන්තිමට මේ පහල තියන විදිහට errors නැතිව GRUB එක ආයෙ දාගන්න පුලුවන් උනා. බලන්නකො විස්තරේ, මම ඉතින් Ubuntu වලට අලුත් හින්ද සමහර දේවල් නම් වැඩිය තේරුනේ නෑ.

ඊට පස්සෙ මම මැසිම reboot වෙනකන් බලාගන හිටිය. හෙට උදේට වැඩට යන්නත් ඕන හින්ද වැඩේ හරි ගියෙ නැත්නම් පස්සෙම කරනව කියල හිතාගත්ත. මොකද ඒ වෙනකොට රෑ 12 ත් පැනල. මම නිදි මතේ monitor එක දිහාබලාගන ඉද්දි මෙන්න බොලේ GRUB එක load උනා, මට මාර happy. මොකද අමාරුවෙන් වැඩක් ගොඩ දම්මම මාර ආතල් එකක් එක්නවනෙ. නිදි මතත් කොහේ ගියාද නෑ. ඊට පස්සෙ දඩබඩ ගාල Ubuntu වලට ගිහින් බැලුව වැඩද කියල, බබා වගේ වැඩ.

දැන් කට්ටිය බලනව ඇති වැඩනම් මොකද මේ සටහනේ මාතෘකාවෙ බාගෙට කියල කෑල්ලක් දාල තියෙන්නෙ කියල. දැන් තමයි හොඳම හරිය, මට අමතක උනානෙ XP වැඩද කියල බලන්න. ඒකත් බලන්න ඕන හින්ද තව පාරක් boot කලා. List එකෙන් Windows තෝරල enter ගහපු ගමන් ආවෙ මේ පහල තියනව වගේ error එකක්.
error : No such device 26856233...

Press any key to continue ...
කට්ටියට මතකයිනෙ මේක අපේ Hostel Room එකේ මැසිම. දැන් ඉතින් අද හවසට හොඳට අහගන්න පුලුවන්. තවම කවුරුත් දන්නෙ නෑ සිද්දිය. කමක් නෑ මමත් වැඩේ අත හරින්නෙ නෑ. මේ වගේ case එකක් ගොඩදාපු කෙනෙක් ඉන්නවනම් කියන්න ඕන හොඳද. මේ සටහනත් මෙතනින් ඉවරයි. ඔබට ජය !

Tuesday, December 22, 2009

Ubuntu 9.1 ආගිය අතක් නැත, සොයාදෙන්න

මම මගෙ මැසිමට Ubuntu 9.1 සහ Windows_XP_sp2 දෙකම දාලයි තිබුනෙ. Windows වලට virus එකක් ගිහින් ගොඩගන්න බැරිම තැන ලඟදි format පාරක් දැම්ම.

කලිනුත් Ubuntu තියෙද්දි Windows තිබිච්ච drive එක format කරල GRUB එක ආයෙත් setup කලහම ගොඩ ගිය හින්ද මේපාරත් Ubuntu Live CD එක දාල වැඩේට බැස්ස.

වෙනද වගේම root ට ගිහින් sudo grub ගහපු ගමන් කියාපි එහෙම එකක් නෑ කියල, Google ගෙන් ඇහුවත් හරිහමන් උත්තරයක් හොයාගන්න බැරි උනා. දන්න කෙනෙක් ඉන්නවනම් GRUB එක ගොඩගන්න උදව්වක් දෙන්න. ඔබට ජය !

Monday, December 21, 2009

දිග බ්ලොග් සටහන් හකුලන හැටි

අද මම කියල දෙන්න යන්නෙ කොහොමද මාගල් වගේ දිගට යන සටහන්වල එච්චරම වැදගත් නැති දේවල් හකුලල පෙන්වන්නෙ කියල. වැඩි විස්ස්තර කියනවට වඩා මේ පහළ තියන පෙන්වන්න/හකුලන්න link එකට කොටන්නකො.

පෙන්වන්න/හකුලන්න


ඔයා දැන් කියවන මේ චේදය චේදෙයි පින්තූරෙයි හැංගිලා තිබ්බ එව්ව. පෙන්වන්න/හකුලන්න උඩ කොටල තමයි ඔයා ඒක දැන් බලන්නෙ. ආයෙත් පෙන්වන්න/හකුලන්න උඩ කෙටුවොත් මේ චේදෙයි පින්තූරෙයි හැංගෙනව. කොටලම බලන්නකො.

කොහොමද වැඩේ, හොඳයි නේද? දැන් බලමු මේක කොහොමද බ්ලොග් එකට දා ගන්නෙ කියල.

1. මුලින්ම බ්ලොග් එකට log වෙලා Edit HTML පිටුවට යන්න, දැනට තියන template එක download කරල save කරගන්න අමතක කරන්න එපා.



2. ඔයාගෙ template එකේ </head> tag එක තියන තැන හොයාගන්න, ඒකට කරන්න තියෙන්නෙ Ctrl + F ගහල Find කරන එක.


ඊට පස්සෙ පහල තියන code එක අර හොයාගත්තු </head> tag එකට උඩින් paste කරන්න.

මම පෙන්වන්න/හකුලන්න කියන link එක දාල තියෙන්නෙ මෙන්න මේ විදිහට,

ඊට පස්සෙ ඔයාට හංගන්න ඕන හැම දෙයක්ම <div class="commenthidden" id="yourDivId"> සහ </div> මැද්දට දාන්න. උඩම තියන උදාහරණෙ මම කරල තියෙන්නෙ මෙන්න මේ විදිහට,

මේකෙදි මතක තියාගන්න ඕන දේ තමයි yourDivId කියන එක තවත් තැනක පාවිච්චි නොකරන්න වග බලා ගන්න එක. ඒ කියන්නෙ ඔයාට මේ සෙල්ලම එකම සටහනේ දෙතුන් පොළක කරන්න ඕනනම් yourDivId කියන එකට වෙන නමක් දෙන්න ඕන.

ඔන්න ඉතින් මේ සටහනත් මෙතනින් ඉවරයි. අවුල් තියන තැන් අහන්න ඕන හොඳද. ප්‍රතිචාරයක් දෙන්නත් අමතක කරනව එහෙම නෙවේයි ඕං. ඔබට ජය !

Gmail එකේ Body එකට පින්තූරයක් දාමු

Gmail වලට කොහොමද පින්තූරයක් දාගන්නෙ කියල ඇහුවොත් ගොඩක් කට්ටිය කියන්නෙ attach කරගන්න හැටිනෙ. ඒත් attach කරපුවාම තියන අවුල තමයි පින්තූරෙ වෙනම බලන්න වෙන එක, ඒක කම්මැලි වැඩක්නෙ. අද මම කියල දෙන්න යන්නෙ mail එකේ body එකට පින්තූරයක් දාගන්න හැටි. මේකනම් ගොඩක් කට්ටිය දන්නවත් ඇති, දන්නෙ නැති කට්ටිය බලාගන්නකො කරන හැටි.

ඔයාගෙ තියෙන්නෙ අළුත් gmail interface එක නම් පහළ තියන රූපෙ විදිහට දැතිරෝද icon එක උඩ කොටල Labs වලට යන්න. ඊළඟට 3 පියවරේ ඉඳල කරගන යන්න ඕන.


1. මුලින්ම ඔයාගෙ mail එකට log in වෙන්න, ඊට පස්සෙ Settings වලට යන්න, පහල තියන රූපෙත් බලන්නකො.


2. දැන් එන window එකෙන් Labs කියන link එකට යන්න.


3. ඊට පස්සෙ පොඩ්ඩක් පහලට ගියහම හම්බෙයි Inserting Images කියල එකක්, ඒක enable කරල save කරගන්න. පින්තූර ටික බැලුවොත් හොඳටම තේරෙයි කරන පිළිවෙල.


දැන්නම් වැඩේ ඉවරයි, අලුත් mail එකක් ලියන පිටුවට යන්නකො පින්තූරයක් දාගන්න හැටි කියන්න. ඔයාලට පෙනෙයි අලුත් icon එකක් ඇවිත් තියනව, ඒකට කොටපුවාම ඔයාට දාන්න ඕන පින්තූරෙ තෝරන්න පොඩි window එකක් එයි. දැන් කරන්න තියෙන්නෙ ඕන කරන පින්තූරෙ තෝරල Ok කරන්න විතරයි.



උඩ තියෙන්නෙ දැන් මම කියපු විදිහට කරල දාගත්තු පින්තූරයක්. මමත් මේක කරන හැටි ගොඩක් කල් ඉඳන් හොය හොය හිටියෙ. අපේ බයිය නොහොත් උදයංග තමයි කරන හැටි කියල දුන්නෙ. හැම දෙනාටම දැනගන්න මම ඉතින් බ්ලොග් එකේ දැම්ම. වැඩේ හොඳයි නේද? අවුල් වගේනම් අහන්න ඕන හොඳද. දැන්නම් මේ සටහන ඉවර කරන්න වෙලාව හරි. ඔබට ජය !

Sunday, December 20, 2009

බ්ලොග් එකට Syntax Highlighter එකක් දාගමු

අදත් මම කියල දෙන්න යන්නෙ බ්ලොග් එකට පොඩි ගැජට් එකක් දාගන්න හැටි. ගැජට් එකේ නම තමයි SyntaxHighlighter. හැබැයි මේ ගැජට් එකනම් ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ පරිඝණක භාෂා වල එන code කෑලි පලකරන අයට. මේකෙන් වෙන්නෙ ඒ ඒ භාෂාවට අදාල keywords ඉස්මතු කරල පෙන්වන එක. බ්ලොග් එකට Menu Bar එකක් දාගන්න එක ගැන ලියපු සටහනේ තියන code එක බැලුවොත් ඔයාලට තේරෙයි මොකක්ද ගැජට් එක කියල. දැන් බලමු ඒක අපේ බ්ලොග් එකට දාගන්නෙ කොහොමද කියල.

1. මුලින්ම කරන්න තියෙන්නෙ බ්ලොග් එකට log in වෙලා Layout පිටුවට ගිහින් Edit HTML තෝරන එක, එතකොට ඔයාලට පහල තියන රූපෙ වගේ එකක් එයි. මතක ඇතුව ඔයාගෙ template එකේ backup එකක් ගන්න එක ඇඟට ගුණයි, මොකද නැත්නම් තියන ලස්සනත් නැති වෙන්න ඉඩ තියනව.



2. ඊට පස්සෙ ඔයාගෙ template එකේ </head> තියන තැන හොයාගන්න, ඒ වැඩේ කරන්න Ctrl + F ඔබල Find කලාම ලේසියි. දැන් කරන්න තියෙන්නෙ හොයා ගත්තු </head> තියන තැනට උඩින් පහළ තියන code එක paste කරගන්න එක.

<link href='http://alexgorbatchev.com/pub/sh/2.1.364/styles/shCore.css' rel='stylesheet' type='text/css'/>
<link href='http://alexgorbatchev.com/pub/sh/2.1.364/styles/shThemeDefault.css' rel='stylesheet' type='text/css'/>
<script src='http://alexgorbatchev.com/pub/sh/2.1.364/scripts/shCore.js' type='text/javascript'></script>
<script src='http://alexgorbatchev.com/pub/sh/2.1.364/scripts/shBrushCSharp.js' type='text/javascript'></script>
<script src='http://alexgorbatchev.com/pub/sh/2.1.364/scripts/shBrushJava.js' type='text/javascript'></script>
<script src='http://alexgorbatchev.com/pub/sh/2.1.364/scripts/shBrushPhp.js' type='text/javascript'></script>
<script src='http://alexgorbatchev.com/pub/sh/2.1.364/scripts/shBrushXml.js' type='text/javascript'></script>
<script language='javascript'>
SyntaxHighlighter.config.bloggerMode = true;
SyntaxHighlighter.config.clipboardSwf = 'http://alexgorbatchev.com/pub/sh/2.1.364/scripts/clipboard.swf';
SyntaxHighlighter.all();
</script>

3. Code එකේ 1 සහ 3 වැනි පේළි වල තියන දෙක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. දෙවෙනි පේළියෙ කරල තියෙන්නෙ style දාන එක. මෙතන්ට ගිහින් බලන්න එක එක ජාතියෙ styles තියනව. කැමති එකක් දාගන්න පුලුවන්, හැබැයි එකයි.

4. Code එකේ 3, 4, 5 සහ 6 වැනි පේළිවලින් කරල තියෙන්නෙ c#, Java, PHP සහ HTML/XML. වලට අදාල JavaScript link කරන එක. ඔක්කොම ඕන නෑ, තමන් ලියන බ්ලොග් එකේ ලියන දේවල් වලට අදාල JavaScript විතරක් එකතු කරගන්න. එකතුකරගන්න පුලුවන් JavaScript මෙතනින් බලාගන්න. ඊට පස්සෙ template එක save කරන්න. දැනට අවුලක් නෑ නේද?

5. අපි දැන් බලමු මේ ගැජට් එක අපි ලියන සටහනක පාවිච්චි කරන්නෙ කොහොමද කියල. ඔයාගෙ සටහනේ කොතනකට හරි code කෑල්ලක් දාගන්න ඕනනම් මේ පහල තියන විදිහට ඒක සටහනට එකතුකරගන්න. මේකෙ brush: html කියල තියන තැනින් තමයි භාෂාව තෝරන්නෙ. මම දැන් html තෝරල තියෙන්නෙ. තෝරන්න පුලුවන් භාෂා මෙතනින් බලාගන්න.

<script type="syntaxhighlighter" class="brush: html; wrap-lines: false;"><![CDATA[
// code එක මෙතනට දාන්න
]]></script>

මෙතනට ගිහින් බලන්න තව එක එක ජාතියෙ වැඩ දාන්න පුලුවන්. එහෙනම් මේ සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !

Saturday, December 19, 2009

බ්ලොග් එකට Menu Bar එකක් දාගමු

ඔන්න ඉතින් මේක තමයි මගෙ මුල්ම සටහන. මම මේකෙන් කියල දෙන්න හදන්නෙ Blogger බ්ලොග් එකකට පොඩි වැඩ කෑල්ලක් දාන හැටි. අපි බලමු කොහොමද බ්ලොග් එකකට Horizontal Menu Bar එකක් දාගන්නෙ කියල. නිකන් එකක් නෙවෙයි Multilevel Menu Bar එකක්. පහළ තියන රූපෙ බලන්නකො. ඒක මම කඩ්ඩෙන් ලියන බ්ලොග් එකට දාල තියන එක, ගිහින් බලන්නකො හොඳද කියල.



හැමෝටම තේරෙන්න සරලවම කියන්නම්, වැඩ දන්න අයටනම් කියල තියන විදිය දැක්කහම හිනා යයිද දන්නෑ. මුලින්ම මේ පහල තියන තඩි code එක copy කරගන ඒක Text Editor එකේ save කරගන්න. ඒක දිග උනාට ගනන් ගන්න එපා, ඒකෙ එච්චර දෙයක් නෑ.

දැන් කරන්න තියෙන්නෙ document එක .html විදිහට save කරගන්න එක. එහෙම කරන්නනම් File --> Save As ගිහින් නම අගට .html දෙන්න විතරයි තියෙන්නෙ. දැන් Browser එකක Open කරල බලන්න Menu Bar එක පේනවද කියල. පොතේ හැටියටනම් පේන්න ඕන. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ තමන්ට ඕන විදිහට Edit කරගන්න එක. මම එක උදාහරනයක් දෙන්නම්කො, code එක බැලුවොත් ඔයාලට පහල තියන පේළිය වගේ පේළි ගොඩක් පෙනෙයි.

<a href="#" title="test title"><span>Blogger Tips</span>

දැන් ඔය "#" තියන තැන් වලට ඔයාගෙ සටහනේ Link එක දෙන්න, "test title" තියන තැන් වලට සටහන අදාල Title එකක් දෙන්න, එතකොට mouse එක ඒක උඩට ගෙනිච්චහම අපි දීපු title එක පෙන්නනව. උඩින්ම තියන රූපෙ බැලුවොත් පෙනෙයි. "Blogger Tips" කියන්නෙ අපිට පේන නම, ඒකත් ගැලපෙන විදිහට දෙන්න. ඔය විදිහට edit කලහම මෙන්න මේ වගේ එකක් එන්න ඕන, මේ විදිහට ඔයා හැම Link එකක්ම edit කර ගන්න. CSS එහෙම දන්නවනම් ඔයාට කැමති විදිහට styles වෙනස් කරගත්තට මගෙ කිසිම තරහක් නෑ.

<a href="http://www.google.com" title="ගූගල් වලින් සොයන්න"><span>සොයන්න</span>

දැනට ගානට යනව නේද? දැන් තමයි හරියටම වැඩේට බහින්න යන්නෙ. ඔයාගෙ බ්ලොග් එකට Log වෙලා "Edit HTML" පිටුවට යන්න, එතකොට මේ වගේ එකක්නෙ එන්නෙ.



දැන් මුලින්ම කරන්න ඕන දේ තමයි දැනට තියන template එක download කරල save කරගන්න එක, මොකද කොච්චර වැඩ දන්න ඩයල් එකක් උනත් template එක අවුල් ගියොත් ගොඩ ගන්න අමාරු වෙන්න පුලුවන්.

දැන් මම කියල දෙන පියවරවල් ටික ඒ විදිහට කලොත් ලේසියෙන්ම Menu Bar එක දා ගන්න පුලුවන්,

1. ඔයාගෙ template එකේ "b:section class='header'" කියල එකක් තියනවද බලන්න, ඒකට කරන්න තියෙන්නෙ Ctrl + F ගහල Find කරන එක. එහම එකක් නෑම කියනවනම් "maxwidgets" කියල එකක් තියනවද බලන්න. "maxwidgets" ගොඩ සැරයක් තියනවනම් "header" වචනෙ අහල පහල තියන පේළිය තෝරගන්න.

2. දැන් maxwidgets තියන ගානට වඩා දෙකක් වැඩි කරන්න, ඒ කිව්වෙ "1" තියනවනම් "3" දෙන්න. ඒත් එක්කම showaddelement වල "no" තිබ්බොත් "yes" කරන්න. උදාහරණයක් විදිහට මේ වගේ එකක් තමයි අන්තිමට තියෙන්න ඕන. (maxwidgets='3' showaddelement='yes')

3. දැන් template එකේ </head> තියන තැන කලින් විදිහටම හොයාගන්න. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ අපි අර කලින් save කරගත්තු .html file එකේ styles ටික copy කර ගන්න එක. ඒකෙ <style type="text/css"> ඉඳන් </style> වෙනකන් copy කරගන්න. මතක ඇතුව ඒ කෑලි දෙකත් එක්කම copy කරගන්න ඕන. ඊට පස්සෙ අර හොයාගත්තු </head> තියන තැනට උඩින් ඒටික paste කරන්න.

4. දැන් අපි වැඩේ ගොඩක් දුරට ඉවරයි. Template එක save කරල බලන්න අවුලක් නෑ නේද කියල. Save කරන්න බෑ අවුල් තියනව කියල කිව්වොත් කලබල නැතිව ආයෙ පාරක් බලන්න කොතනද අවුල කියල.

5. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ "HTML/JavaScript" ගැජට් එකක් Headder එකට දාගන්න එක. ඒකනම් ඉතින් සුපුරුදු විදියම තමයි, වෙනසකට තියෙන්නෙ මේපාර දාන්නෙ Header එකට වීම. Layout ගිහින් Header එකට උඩින් තියන "Add a Gadget" යන්න. මේ රූපෙත් බලලම ඉන්නකො.



6. දැන් අපි අර කලින් save කරගත්තු .html file එකේ <body> සහ </body> කියන code කෑලි ඇතුලෙ තියන ටික gadget එකේ content එකට දෙන්න. ඊට පස්සෙ save කරල බ්ලොග් එක බලන්න අලුතින් දාගත්තු Menu Bar එක වැඩද කියල.

ඔන්න මගේ පළවැනි සටහන මෙතනින් ඉවර කරන්නයි යන්නෙ. කොතන හරි තේරෙන්නෙ නැති තැනක් තියනවනම් අහන්න ඕන හොඳද. සටහන ගැන අදහසකුත් දීලම ගියානම් තමයි හොඳ, මොකද මේක මම මුලින්ම ලියපු එකනෙ. ඔබට ජය !

Thursday, December 17, 2009

ආයුබෝවන්

මම සාරංග, සාරංග රත්නායක. ගම් පළාතනම් කුලියපිටියෙ. දැනට තොරතුරු තාක්ෂණය හදාරනව. මටත් සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න හිතුන නිසා හා හා පුරා කියල පටන් ගන්නයි යන්නෙ. මම කඩ්ඩෙන්නම් මේ බ්ලොග් එක ලියාගන යනව.එත් තමන්ගෙ භාෂාවෙන් කියවන්න හැමෝම කැමතියිනෙ, ඒ හින්ද සිංහලෙනුත් ලිව්වනම් හොඳයි කියල හිතුව.

ඉස්සර ඉඳන්ම සිංහලෙන් ලියන්න ආසාව තිබ්බට සිංහලෙන් යතුරු ලියන්න බැරි හින්ද වැඩේ ටික ටික කල් ගියා. යුණිකෝඩ් එසැණින් පරිවර්තකයට පින් සිද්ද වෙන්න දැන් වැඩේ ලේසියි. බ්ලොග් එකේ දාන්න ඉන්නෙ ඔය මම දන්න පොඩි පොඩි දේවල්. ගොඩක් වෙලාවට කොඩ් කෑලි, අලුත් අලුත් දේවල් තමයි ලියන්න හිතාගන ඉන්නෙ.
Related Posts with Thumbnails