Tuesday, November 23, 2010

Laptop එකක් ගනිද්දි මේ ගැනත් බලන්න

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ අද වෙලාවක් හොයාගත්ත බ්ලොග් එක පැත්තෙ එන්න. අද මම කියන්න යනදේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ අලුතින් laptop ගන්න ඉන්න කට්ටියට.

අපි ඉතින් ගොඩක් වෙලාවට බලන්නෙ අපි ගන්න යන laptop එකේ කතා කරගත්තු විදිහට RAM, Processing Speed, VGA, Disk Space වගේ දේවල් තියනවද කියලනෙ. ඊට අමතරව බලන්න ඕන තව දෙයක් තියනව. ඒ තමයි laptop එකේ LCD/LED screen එක.

මේ screen එකේ අපිට පේන්නෙ නැති තරම් කුඩාවට කළු, සුදු හෝ වෙනත් පැහැයක් ගන්නාවූ ලප තියෙන්න පුළුවන්. මේවට කියන්නෙ Dead/Stuck Pixel කියල. අපි මේක ගැන සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම හේතුව තමයි, මේවගේ ලප (Dead Pixel) එකක් දෙකක් තිබුනට අපිට අලුත් screen එකක් warranty යටතේ හම්බවෙන්නෙ නැති එක. එහෙම අලුත් එකක් දෙන්නනම් ගොඩක් වෙලාවට අඩුම තරමින් Dead Pixel 5ක් වත් තියෙන්න ඕන. මේක laptop brand එක අනුව වෙනස් වෙන දෙයක්.


ඔයා ගන්න යන laptop එකේ Dead Pixel තියනවද කියල බලන්න පුළුවන් ලේසිම විදිහ තමයි wallpaper එකට සුදු පාට පින්තූරයක් සහ කලු පාට පින්තූරයක් දාල හොඳින් පරීක්ෂා කරන එක. මේ web site (UDPixel) එකේ තියන පොඩි software එකෙන් ඒ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. Install කරන්න ඕන නැති නිසා laptop එක ගන්න වෙලාවට Flash Drive එකක දාගන ගිහින් run කරල බලන්න තියෙන්නෙ.
මෙතනින් බාගන්න:
UDPixel v2.2 English (.zip - 72kB) Compressed binaries, no installer

ඊට අමතරව මේ web site එකට (Dead Pixels Test) ඒ වෙලාවෙම ගිහිනුත් හොඳ පරීක්ෂාවක් කරගන්න පුළුවන්. අමාරුවෙන් සල්ලි හොයාගන laptop එක ගත්තට පස්සෙ දුක් වෙනවට වඩා හොඳට පරීක්ෂා කරල ගන්න එක හොඳයිනෙ.

එහෙනම් ඉතින් පස්සෙ වෙලාවක අලුත් සටහනකින් හමුවෙමු. කියවල බලල ප්‍රතිචාරයක් දාන්නත් අමතක කරන්න එපා. ඔබට ජය !

Wednesday, February 3, 2010

JQuery වලින් Form එකකට Auto Suggest සහ Validation දාගමු

මම මීට කලින් ලියපු සටහන් වල JQuery, JQuery වලින් ලේසියෙන්ම AJAX ගොඩදාන හැටි සහ JQueryUI ගැන කිව්ව ඔයගොල්ලන්ට මතක ඇති. අද සටහනෙන් කියන්න යන්නෙ ඒ දේවල් වල ප්‍රායෝගික යෙදීමක් ගැන. අපිට ගොඩක් web site වල forms තියනව දැකගන්න පුළුවන්නෙ, අද කියල දෙන්න යන්නෙ JQuery සහ AJAX පාවිච්චි කරල අපේ web site එකේ තියන form එකකට auto suggest දාගන්න හැටි සහ validation කරන හැටි. මේකෙදි ලබාගන්න දත්ත ටික PHP වලින් MySQL Database එකකට save කරගන්න හැටිත් කියල දෙන්න මම බලාපොරොත්තු වෙනව. ගොඩක් දේවල් විස්තර කරන්න තියන නිසා සටහන නම් ටිකක් දිග එකක් වෙයි.

සටහනේ එන code කෑලි අවබෝද කරගන්න JavaScript,PHP සහ MySQL පිළිබඳ මූලික දැනුමක් තිබ්බොත් හොඳයි. ඒ දේවල් ගැන ලේසියෙන් ඉගෙන ගන්න w3schools site එකෙන් ඔයගොල්ලන්ට පුළුවන්. මොකද මමත් ඒකෙන් තමයි ගොඩාක් දේවල් ඉගෙන ගත්තෙ.

මුලින්ම මේ පහල තියන තැනින් කියල දෙන්න යන code එක බාගන්නකො. ඊට පස්සෙ මම කියල තියන විස්තරේ බැලුවොත් ලේසියෙන්ම කරල තියන විදිහ තේරුම්ගන්න පුළුවන් වෙයි.


Password : sara

Live Demo එකට ගිහින් පුරවන්න උත්සහයක් දීල බලන්නකො. වැරදියට පුරවන්න දෙන්නෙ නෑ නේද?
එහෙම පිරෙව්වත් submit කරන්න බෑ නේද? ඔයාගෙ මැසිමෙ මේක run කරල මේක බලන්න ඕනනම්,
PHP සහ MySQL තියන XAMP වගේ server එකක දාල තමයි බලන්න වෙන්නෙ.

දැන් බලමු මේක හරි විදිහට ඔයාගෙ මැසිමෙ run කරන හැටි

සංක්ෂිප්ත ගොනුව බාගන දිග ඇරල බැලුවොත් ඔයාලට පෙනෙයි css,js,scripts සහ images කියල folders ටිකකුයි index.php කියල ගොනුවකුයි. ඔයාගෙ browser එකේ index.php ගොනුව විවෘත්ත කරල බැලුවොත් පහළ තියනව වගේ form එකක් එනව දැකගන්න පුළුවන් වෙයි.


මුලින්ම මම දීල තියන උදාහරණෙ ඇතුලත් වෙන jquery_form කියන folder එක ඔයාගෙ localhost ක්‍රියාත්මක වෙන folder එකට copy කරගන්නකො. උදාහරණයක් විදිහට ඔයා පාවිච්චි කරන්නෙ WAMP නම් www folder එකට, XAMP නම් htdocs folder එකට. දැන් scripts කියන folder එකේ තියන dbc.php එක ඔයාගෙ Text Editor එකේ open කරගන්න. පොඩි වෙනස්කම් ටිකක් කරන්න ඕන ඔයාට ගැලපෙන විදිහට.

ඔයා server එක අලුතෙන්ම install කලානම් කිසි වෙනසක් හරන්න ඕන නෑ. එහෙම නැත්නම් දැනට නැති නමක් $dbname එකට දෙන්න. MySQL වලට password එකක් දීල තියනවනම් ඒක $password එකට දෙන්න. එච්චටයි කරන්න තියෙන්නෙ.

ඊට පස්සෙ තියන පියවරවල් කරන්න ඕන server එක online තියෙද්දි. මම කරන්න ඕන
වැඩෙයි ඒකෙන් එන ප්‍රතිඵලයයි දෙකම මෙතනදි කියන්නම්.

1. මුලින්ම sql.php file එක server එකේ run කරන්න,
ඒකට කරන්න තියෙන්නෙ browser එකේ address bar එකේ ඒකට යන පාර දෙන එක විතරයි.
උදාහරණයක් විදිහට http://localhost/jquery_form/scripts/sql.php ගන්න පුළුවන්.

මේකෙදි වෙන්නෙ අලුත් database එකක් හැදෙන එක. ඒක වෙන්නෙ කලින් ඔයා dbc.php එකට
කරපු වෙනස්කම් වලට අදාලව. වෙනසක් කරේ නැත්නම් userdata කියල database එකක details_user
කියල table එකක් අදාල columns එක්කම හැදෙනව. මතක තියාගන්න මේක එක පාරක් කළාම ඇති.
මේ file එක අපේ වැඩේට අදාල නෑ, ඒක මම ලිව්වෙ ලේසියෙන්ම database එක හදාගන්න.

2. ඊටපස්සෙ කරන්න තියෙන්නෙ index.html එක server එකේ run කරන එක.
දැන් form එක හරි විදිහට පුරවල submit කරල බලන්නකො. එතකොට අපේ දත්ත ටික database එකේ
save වෙලා තියෙයි.

එක පාරක් submit කරල ඊලඟ පාර සම්පූර්ණ නමයි උපන්දිනෙයි පුරවල අර කලින් දීපු Login Name
එකම දීල බලන්නකො. මොකද උනේ ? ඒ නම දැනට තියන හින්ද වෙන නම් ටිකක් suggest වෙලා
එනව නේද ?

දැන් බලමුකො code වලට ගිහිල්ල කොහොමද මේ වැඩේ කරල තියෙන්නෙ කියල. මුලින්ම බලමු index.php වල code එක.

වැඩිය හැඩ වැඩ කරල නැතිව HTML Table පාවිච්චි කරල තමයි මම form එක හදල තියෙන්නෙ. ඕන විදිහට හැඩ කරගන්න එක ඔයාට බාරයි. මේකට මම JQuery සහ JQueryUI වගේ ඕන කරන JavaScripts සහ CSS link කරගන තියනව. 11 වෙනි පේළියෙදි මම JQuery link කරල තියෙන්නෙ. උපන් දිනේ දෙන්න හැදුවනම් ඔයාට පේන්න ඇති ලස්සන දින දර්ශකයක් එනව අපිට දිනේ තෝරන්න. ඒකෙදි මම පාවිච්චි කරල තියෙන්නෙ JQueryUI වල datepicker කියන ගැජට් එක. ඒකට තමයි ඊලඟ පේලියෙ JQueryUI link කරල තියෙන්නෙ. 18 වෙනි පේළියෙ ඉඳන් 28 වෙනි පේළිය වෙනකන් තියන JavaScript කෑල්ල datepicker එකට ඕන කරන ටිකක්.

එතකොට මොකක්ද 17 වෙනි පේලියෙ තියන අනිත් JavaScript එක? ඒකෙ තමයි මම validation සහ suggestion කරල තියෙන්නෙ, ඉස්සරහට ඒක විස්තර කරන්නම්කො. 32 වෙනි පේළියෙ ඉඳන් 86 වෙනි පේළිය වෙනකන් තියන PHP කෑල්ල දැනට අමතක කරන්න, ඒක form එක submit කළාට පස්සෙ වෙන දෙයක් ගැන. එතනින් එහාට තියෙන්නෙ සාමාන්‍ය විදිහට HTML table එකක form එක හදල තියන එක. මෙතනදි හැම input එකකටම යටින් span එකක් දාල තියෙන්නෙ JavaScript වලින් validate කරල එන ප්‍රතිඵලය පෙන්වන්න. කරන හැටි ඉස්සරහට කියන්නම්කො.

කොහොමද Validation සහ Suddestions කරන්නෙ ?

ඇත්තටම අපේ මාතෘකාවට අදාල වෙන්නෙ validation.js කියන file එක. මොකද මේකෙ තමයි validation සහ suggestion වලට අදාල code තියෙන්නෙ. මේකෙදි මම හැම input එකක්ම validate කරන්න වෙනම function එකක් ලියල තියනව. ඒවගේම suggest කරන වැඩ වලට වෙනම function ලියල තියනව. ඒ ඒ input වල blur සහ keyup event එකේදි මම අර කලින් කියපු functions යොදාගන validate කරල තියනව. ඒ වගේම form එකේ submit event එකේදි මම හැම input එකක්ම බලල තියනව.

දැන් බලමු validation.js වල code එක, මම කෑලි කෑලි අරගන විස්තර කරන්නම්.

මෙතනදි තමයි මම එක එක events වලදි functions වලට call කරල තියෙන්නෙ. මම key up event එකේදි වෙන ටික comment කරල තියෙන්නෙ, කැමතිනම් ඔයාට පුළුවන් ඒක uncomment කරන්න. ඊට පස්සෙ බලමු මේ විදිහට call වෙන function එකක් දිහා.

අපි validation වලට Regular Expressions පාවිච්චි කරනවනම් ගොඩාක් ලේසියෙන් අපේ වැඩේ කරගන්න පුළුවන්. මෙතනදිත් මම Regular Expressions පාවිච්චි කරල තියනව. අපි දෙන input එකත් එක්ක ඒක ගැලපෙනවනම් ප්‍රශ්ණයක් නෑ, හැබැයි ගැලපෙන්නෙ නැත්නම් මම කරල තියෙන්නෙ input textbox එකට අලුතෙන් CSS Class එකක් එකතු කරන එක සහ අර මම කලින් කියපු input textbox එක යටින් තිබුන span එකට text එකක් ලියන එක. එතකොට ඒ ඒ CSS Classes අනුව input textbox එක වෙනස් වෙනව. මෙතනදිනම් මම කරල තියෙන්නෙ පාට වෙනස් කරන එක. දැන් බලමු කොහොමද suggestion එකක් කරන්නෙ කියල.

මේ function එක call වෙන්නෙ මීට උඩින් තියන function එකේදි අපි දෙන Login Name එක දැනට database එකේ තිබුනොත් කියල ඔයාලට තේරෙනව ඇතිනෙ. මෙතනදි මම කරල තියෙන්නෙ AJAX වලින් සම්පූර්ණ නමයි උපන්දිනයයි වෙනම PHP file එකකට (isValiedName.php) යවන එක. ඊට පස්සෙ ඒකෙන් අපි එවපු දත්ත ටික එහාට මෙහාට කරල දැනට database එකේ නැති නම් ටිකක් ආපහු එවනව. ඊට පස්සෙ කරල තියෙන්නෙ ඒ එන නම් ටික පෙන්නන එක. හරි ලේසියි.

වැඩි විස්තර

අපි බලමු form එක submit කලාට පස්සෙ මොකද වෙන්නෙ කියල. මම form එකේ action එකට index.php මයිනෙ දීල තියෙන්නෙ. ඒ හින්ද අපි post method එකෙන් යවන data ටික ගන්න ඕනත් index.php එකේ ඉඳන්මයි. ඒකට තමයි index.php එකේ 32 වැනි පේළියෙන් පටන් ගන්න PHP කෑල්ල තියෙන්නෙ. validation.php එක ඕන වෙන්නෙ අපි යවන data PHP වලිනුත් validate කරන්න ඕන හින්ද, මොකද නැත්නම් JavaScript dissable කරල තිබ්බොත් data validate වෙන්නෙ නැති හින්ද. අන්තිමට data validate උනොත් database එකේ ලියන එක තමයි කරල තියෙන්නෙ. එච්චටයි !

හපොයි, හිතුවට වඩා පට්ටම දිග උනා. මේ සටහන web development කරන අයට වැදගත් වෙයි කියල හිතනව. අවුලක් තියනවනම් ප්‍රතිචාරයක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. ඔබට ජය !

Friday, January 15, 2010

Gmail වලට ආපු අලුත් වැඩ කෑලි

ඔයගොල්ලො දැනටමත් දන්නව ඇතිනෙ Gmail වලට අලුත් අලුත් වැඩ කෑලි ගොඩක් ඇවිත් තියනව කියල. Google's approach to email පිටුවට ගියොත් ඔයාට පුළුවන් ඒ දේවල් බලාගන්න. මම කියන්න යන්නෙ මේ ගැජට් අතරින් දාගත්තොත් කෝකටත් හොඳයි කියල හිතුන එකක් ගැන. මේක ඔය අමත්ක වෙන ලෙඩේ සහ වරදින ලෙඩේ තියන කට්ටියට පට්ට ගැජට් එකක්. ගැජට් එකේ නම තමයි Undo Send.

මේකෙන් කරන්නෙ mail එක යවල තත්පර කිහිපයක් යනකන් අපිට ඒක යවන එක නවත්තන්න අවස්ථාවක් දෙන එක. මේක හදපු අය කියන දෙයක් තමයි, mail එක යවල තත්පර පහක් විතර කාලයක් ඇතුලත අපිට mail එකේ අඩුපාඩුවක් තියනවනම් පේනව කියන එක. උදාහරණයක් විදිහට attach කරන්න අමතක වෙන එක, අකුරු වල සහ ව්‍යාකරණ වල තියන අඩුපාඩු ගන්න පුළුවන්. මම අත්දැකීමෙන් දන්නව attach කරන්න අමතක වෙච්ච වෙලාවට send කරාට පස්සෙ ටක් ගාල මතක් වෙනව attach කලේ නෑ නේද කියල. එතකොට ඉතින් පෙරහැර ගිහින් ඉවරයිනෙ.

ඔයාලට මතකද මම අර කලින් කියල දුන්න Gmail body එකට attach කරන්නෙ නැතුව පින්තූරයක් දාන හැටි. අන්න ඒ විදිහටම Labs වලට ගිහිල්ල මේ Undo Send feature එක enable කරගන්න තියෙන්නෙ.



වෙනද mail එක ගියාට පස්සෙ එන notification එක ඉස්සරහ දැන් Undo කියල link එකක් එයි. රූපෙ බැලුවොත් පැහැදිළිවෙයි. කරල බලල හොඳ නරක ඔය පහළ තියන කොටුවෙ ලියන්නකො. සටහන එහෙනම් මෙතනින් ඉවරයි, ඔබට ජය !

Wednesday, January 13, 2010

Google ගෙන් හරියට අහන හැටි

ඔන්න අදත් මම කියන්න යන්නෙ පොඩි දෙයක් ගැන. අපි ඉතින් මොකක් හරි දෙයක් දැනගන්න ඕන උනහම ගොඩක් වෙලාවට Google ගෙන්නෙ අහන්නෙ. මේ සටහනෙන් කියන්න යන්නෙ Google ට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් වෙන්න අපිට ඕන දේ අහන හැටි. මේ විදිහට කලොත් ඕන්නැති ගොඩක් ප්‍රතිඵල හලාගන්න පුළුවන්.



1. නිශ්චිත වාක්‍යාංශ ("Some text here")
හිතන්න ඔයාට ඕන කියල සිංහල යුනිකෝඩ් පිහිටුවන හැටි Google ගෙන් අහන්න, මේ වගේ වෙලාවට install sinhala unicode කියල හොයනව වෙනුවට ඔයාට පුළුවන් පෙරළි කොමා දෙකක් අස්සෙ දාල "install sinhala unicode" කියල හොයන්න. එතකොට Google අපිට කියන්නෙ ඔය වචන තුන ඔය පිළිවෙලටම තියන එව්ව විතරයි.

2. ඕන්නැති වචන හලන්න (-YourText)
අපිට එන ප්‍රතිඵල ගාන අඩු කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට install sinhala unicode ගැන හොයන්න ඕන, හැබැයි එන ප්‍රතිඵල වල siyabas තියෙන්න බැරිනම් install sinhala unicode -siyabas කියල හොයපුවාම ගොඩ. පේනවනෙ කරල තියෙන දේ, අර පොඩි ඉරි කෑල්ලෙන් එහා පැත්තෙ එන්න ඕන නැති වචනෙ දෙන්න තියෙන්නෙ. install sinhala unicode -siyabas -download කියල දීපුවාම siyabas සහ download කියන වචන දෙකම හැලෙනව.

3. සමාන දේවල් තියන පිටු (related:URL)
ඒ කියන්නෙ මේ වගේ දෙයක්, හිතන්නකො අපිට http://www.w3schools.com/php/default.asp කියන පිටුවෙ අපි හොයන දේ හම්බවුනා කියල, related:http://www.w3schools.com/php/default.asp කියල හොයපුවාම අර කලින් පිටුවෙ තියන දේට සම්බන්ද දේවල් තියන තවත් පිටු අපිට හොයාගන්න පුළුවන්.

4. එක Site එකක විතරක් හොයන හැටි (YourText site:URL)
හිතන්න ඔයාට මොකක් හරි දෙයක් ගැන එක site එකක විතරක් තියන දේවල් හොයන්න ඕන කියල, උදාහරණයක් විදිහට php site:www.w3schools.com කියල දුන්නොත් අපිට www.w3schools.com කියන site එකේ php ගැන ලියවුන පිටු හොයාගන්න පුළුවන්.

5. විශේෂ ලියකියවිලි වර්ගයක් හොයන හැටි (filetype:Type)
ඔයාට ඕනනම් php tutorial ගැන තියන pdf files හොයන්න, php tutorial filetype:pdf කියල දීපුවාම ගොඩ.

6. හදිස්සියකට ගානක් හදාගන්න
ඔය පොඩි ගානක් හදාගන්න අපි හැම තිස්සෙම කරන වැඩක් තමයි Calculator එක පාවිච්චි කරන එක, (5.5*10)/5 කියල දීල බලන්නකො මොකද වෙන්නෙ කියල.

7. අර්ථ දැක්වීම් හොයන්න (define:Text)
define:unicode කියල හොයපුවාම අපිට unicode කියන එකේ අර්ථ දැක්වීම ලේසියෙන්ම දැනගන්න පුළුවන්.

දැන් දන්නවනෙ කොහොමද Google ගෙන් හරියට අහන්නෙ කියල, කරල බලල ප්‍රතිචාරයකුත් කොටලම ගියානම් තමයි හොඳ. එහෙනම් සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !

පසු සටහන:
මේ විදිහට හොයන්න පුළුවන් එක එක විදි ගැන විස්තරාත්මක ලිපියක් මෙතනින් බලන්න.

Friday, January 8, 2010

Windows මුර පදය අමතක වුනොත් ගොඩදාන හැටි

අදනම් පොඩි පොඩි දේවල් වලින් කියන්න යන්නෙ ටිකක් ලොකු දෙයක් ගැන. මුලින්ම කියන්න ඕන මේ දේ වැරදි විදිහට පාවිච්චි කරන්න ඔට්ටු නෑ කියල. මම කියන්න යන්නෙ Windows වල මුර පදය අමතක උනොත් recover කරගන්න විදිහක් ගැන. මටත් මේක ගැන හොයන්න ඕන උනේ යාළුවෙක්ට වෙච්ච ඒ වගේ අකරතැබ්බියක් හින්ද. Windows කිව්වම ඉතින් ජාති ගොඩක් තියනවනෙ, මම බලපු site එකේනම් තිබ්බෙ මෙන්න මෙහෙම,

Tested on: NT 3.51, NT 4 (all versions and SPs), Windows 2000 (all versions & SPs),
Windows XP (all versions, also SP2 and SP3), Windows Server 2003 (all SPs),
Windows Vista 32 and 64 bit (SP1 also), Window 7 (all variants).
Some say also Windows Server 2008 is OK

හැබැයි ඕං මම කරල බැලුවෙනම් Windows XP SP_2 වල. නැත්නම් කට්ටිය අත්හදා බලල වැඩ කරන්නෙ නැතුව ගියොත් මට වලක් කපාගන වැලලෙන්නයි වෙන්නෙ.

මේවගේ වෙලාවට මුලින්ම බලන්න ඕන Default Administrator Account එකේ මුර පදයක් නැද්ද කියල, ඒකට logging window එකේදි Ctrl + Alt + Delete දෙපාරක් ඔබල user name එකට Administrator කියල දීල මුර පදය නැතුව ඇතුලට යන්න පුලුවන්ද බලන්න. ( Safe Mode එකෙදි මේ Default Administrator Account එක logging window එකේ පෙන්වනව, Safe Mode යන්න Windows logo එක පේන්න කලින් F8 ඔබන්න ). ඒකෙ මුර පදයත් මතක නැත්නම් ඉතින් මේ විදිහට තමයි ගොඩ ගන්න වෙන්නෙ. මේ වැඩේට අපිට Bootable CD එකක් හදා ගන්න වෙනව. මම කියන්නම්කො කරන පිළිවෙල.

වැදගත් :
මේ විදිහට recover කළායින් පසුව කලින් තිබුනු encrypted files කියවීමට නොහැකි වේ,
අන්තිම පියවරේදි read only file system කියල error එකක් එනවනම් Safe Mode එකට ගිහින්
log in window එක ආපුවාම Shut Down කරල නැවත උත්සහ කරල බලන්න.
මොකද කලින් පාර හරියට Shut Down වෙලා තිබ්බෙ නැත්නම් අවුල්.

1. මෙතනින් ISO Image එක බාගන Active ISO Burner වගේ මෘදුකාංගයක් පාවිච්චි කරල CD එක burn කරගන්න.

2. ඊට පස්සෙ මුර පදය අමතක වෙච්ච මැසිම ඒකෙන් boot කරන්න. ( මෙහෙම කරන්නනම් first boot device එක CD-ROM විදිහට BIOS වල දීල තියෙන්න ඕන, ඒකට මැසිම on වෙනකොටම DEL ඔබල BIOS ගිහින් first boot device එක CD-ROM දෙන්න )

3. දැන් තියෙන්නෙ එන උපදෙස් පිළිපදින එක තමයි. සම්පූර්ණ විස්තරයක් මෙන්න මෙතන තියනව. මේක බාගන printout එකක් අරන් හිටියොත් වඩාත් හොඳයි. මේකෙදි සාර්ථකම ක්‍රමය කියන්නෙ Administrator Account එකේ මුර පදය එක හිස් කරන එක. මෙතෙන්ට ගිහින් වැඩි විස්තර ඕනනම් බලාගන්නකො.

වැරදි කෙනෙක්ට ගියොත්, අපි බේරෙන්නෙ කොහොමද ?

මේකත් කියන එක ඇඟට ගුණයි කියල මට හිතුන. උඩ තියන මෘදුකාංගය USB Pen Drive එකක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක හින්ද මේ වගේ දෙයක් වැරදි විදිහට පාවිච්චි කරන කෙනෙක්ගෙන් බේරෙන්න තියන විදිහ තමයි first boot device එක Hard Disk කරල BIOS වලට මුර පදයක් දාන එක. හැබැයි Mother Board එකේ බැටරිය ගැලෙව්වහම ඒකත් නැති වෙනව. ඒකට විසඳුම තමයි මෙන්න මේක.


කොහොමද හොඳයි නේද? එහෙනම් ඉතින් මම දැන් යනව. ඔබට ජය !

Wednesday, January 6, 2010

ජනෙල් හතේ සැඟවුනු දෙයියන්ගෙ මාදිලිය

කට්ටිය බලනව ඇති මොකක්ද මේ හරුපෙ කියල. Windows 7 වල තියනව සැඟවුනු God Mode කියල එකක්, ඒක ගැනයි මේ කියන්න යන්නෙ. මේකනම් අලුත්ම දෙයක් නෙවෙයි, Vista වලත් තිබ්බ දෙයක්. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මේක Vista 64 bit වල කරල බලන්න එපා කියන එක. නැත්නම් කට්ටිය OS එක අවුල් ගියා කියල මාව කයි, 32 bit නම් අවුලක් නෑ. Windows 7 නම් අවුලක්ම නෑ. මෙහෙමයි සැඟවුනු දෙයියන්ගෙ මාදිලියට යන්නෙ, හරිම සරළයි.

1. මුලින්ම අලුත් folder එකක් හදන්න.
2. ඊට පස්සෙ මේ පහල තියන නමින් ඒක rename කරන්න.
GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

වැඩේ ඉවරයි ! දැන් ඇතුලට ගිහින් බලන්නකො මොනවද තියෙන්නෙ කියල.



මේකට දෙයියන්ගෙ මාදිලිය කියන්නෙ Operating System එකේ තියන ඕනම Control Panel එකකට එකම තැනකින් යන්න පුළුවන් හින්ද. නරකම නෑ නේද? කරල බලල හොඳ නරක කියන්නකො. එහෙනම් සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !

Admin ගේ ගණන් බලන් නැතුව නිදහසේ වැඩ කරගන්න

පොදු පරිඝණක පාවිච්චි කරන ගොඩක් වෙලාවට අපිට එන ප්‍රශ්ණයක් තමයි වැඩක් කරගන්න ගියහම ඕන කරන මෘදුකාංග ස්ථාපනය කරල නැති එක. ගොඩක් වෙලාවට ඒ වගේ පරිඝණක වල admin බලතලත් අපිට නෑනෙ, ඉතින් ඒක හින්ද මෘදුකාංග ස්ථාපනය කරන්නත් බෑ. මේ වගේ වෙලාවට ඉතින් අපේ පිහිටට ඉන්නෙ Portable Applications තමයි.

අද මම කියන්නෙ ඒ වගේ Portable Applications එකතුවක් තියන PortableApps.Com කියන site එක ගැන. අද වෙනකොට ගොඩක් දෙනා අතර ප්‍රසිද්ධ Portable Firefox හදල තියෙන්නෙත් මේ ගොල්ලො තමයි. මේ site එකෙන් අපිට free and open source මෘදුකාංග ගොඩාක් බාගන්න පුළුවන්. මෙව්ව USB flash drive, iPod, memory card සහ portable hard drive වගේ ඕන එකක දාගන වැඩ කරගන්න පුළුවන්. මෙන්න තියනව එව්වගෙන් ටිකක්,

Mozilla Firefox, Portable Edition - සම්මාන දිනූ Web Browser එක
GIMP Portable - Photo සහ Image Editing වලට
VLC Media Player Portable - ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් Media Player එකක්
OpenOffice.org Portable - Microsoft අනුකූලතාව සමගින්
7-Zip Portable - File Archiving සහ Compressing වලට
InfraRecorder Portable - CD සහ DVD Burn කරගන්න
XAMPP - Apache, mySQL, PHP, phpMyAdmin

අපිට ඕන කරන දේ හොයාගන්න පහසු වෙන්න Accessibility, Development, Education, Games, Graphics & Pictures, Internet, Music & Video, Office, Operating Systems සහ Utilities වශයෙන් විස්තර සහිතව වර්ගීකරණයක් තියන මේ (Applications) පිටුව බලන්නකො.

මේ මෘදුකාංග එකක්වත් limited එව්වවත් trial version වත් නෙමෙයි, පාවිච්චි කරන්න අමතර මෘදුකාංග, දෘඩාංග ඕන වෙන්නෙත් නෑ. ඔයාට තියෙන්නෙ බාගෙන පාවිච්චි කරල යාළුවන්ටත් දෙන එක. ඔන්න ඔහොමයි admin ගෙ ගණන් බලන්නැතුව වැඩ කර ගන්නෙ. එහෙනම් අදට මම යනව. ඔබට ජය !

Monday, January 4, 2010

JQuery UI, ලොකු ලොකු දේවල් ලේසියෙන් කරගන්න

JQuery ගැන මම මීට කලින් ලිපි දෙකකදි කතා කළානෙ. මතක නෑ වගේනම් පහළ තියන links වලට කොටල එව්ව බලලම ඉන්නකො.

1. JQuery, පොඩ්ඩක් ලියල වැඩ ගොඩක් දාන්න
2. JQuery වලින් ලේසියෙන්ම AJAX ගොඩදාන්න

අද කියන්නෙ JQuery UI ගැන. ඒක JQuery පාවිච්චි කරල හදපු තවත් Free JavaScript Library එකක්. මේක පාවිච්චි කරල අපිට ලේසියෙන්ම interactive web applications හදන්න පුලුවන්. මේ උදාහරණ ටික බලන්නකො වැඩ කිඩ ටිකක් බලාගන්න.

1. Draggable
2. Droppable
3. Sortable
4. Datepicker
5. Progressbar
6. Date Range Picker

කොහොමද, හොඳයි නේද? තවත් වැදගත් දෙයක් තමයි මෙව්ව IE 6.0+, FF 2+, Safari 3.1+, Opera 9.0+ සහ Chrome 1.0 ඇතුලු ගොඩක් browsers වල අවුලක් නැතුව වැඩ කරන එක. අපිට වැඩකරන හැටි ඉගෙන ගන්න විස්තර සහිත documentation එකකුත් තියනව. මේ ඔක්කොම දේවල් මෙතෙන්ට (JQuery UI Home) ගියොත් බලාගන්න පුලුවන්. මෙතනින් බලාගන්න උදාහරණ ටික.

Code එක බාගන අපිට ඕන විදිහට වෙනස් කරන්න තමයි තියෙන්නෙ. මේ සටහනනම් ගොඩක් වැදගත් වෙන්නෙ web designing කරන අයට තමයි. තවත් මේ වගේ දේවල් ගැන ඉස්සරහට කියල දෙන්නම්කො. ඔන්න එහෙනම් මම ගියා. ඔබට ජය !

Friday, January 1, 2010

ජීවිතේ මුල් වරට - කවි පෙළක් ලිව්ව මං

ලැබූ නව අවුරුද්ද - ඔබ ඇතුලු සැම දෙනට
සුභම වසරක් වෙන්න - අවසරයි පතන්නට
වෙනසකුත් ඇතිවෙන්න - වසරෙ මුල් සටහනට
අලුත් ලෙසකින් ඔන්න - ලියනවා කියවන්ට

සින්ඩියට එක්වෙලා - තවම මං මාසයයි
අලුත් දේ කියවලා - දැනගත්තු දේ ගොඩයි
මං ලියපු දේ ගැනත් - ලැබුනු අදහස් ගොඩයි
තවත් දේවල් ගොඩක් - ලියන්නට මට හිතයි

බ්ලොග් එකට හිතමිතුරො - හැමදාම එක් වෙයන්
ලියන්නට අලුත්දේ - මගෙ හිතට වැටීයන්
ලියපුවා බලන අය - දිනෙන් දින වැඩි වෙයන්
ප්‍රතිචාර ලියන්නත් - හැමෝටම හිතීයන්

සමාවෙන්නට ඕන - පාඩමක් නෑ ඕං
අලුත් පාඩම් පෙළක් - ඉදිරියෙදි ගේන්නං
ජීවිතේ මුල් වරට - කවි පෙළක් ලිව්ව මං
ගලපගන කියවාල - හොඳ නරක කිව්වනං
Related Posts with Thumbnails