Friday, January 15, 2010

Gmail වලට ආපු අලුත් වැඩ කෑලි

ඔයගොල්ලො දැනටමත් දන්නව ඇතිනෙ Gmail වලට අලුත් අලුත් වැඩ කෑලි ගොඩක් ඇවිත් තියනව කියල. Google's approach to email පිටුවට ගියොත් ඔයාට පුළුවන් ඒ දේවල් බලාගන්න. මම කියන්න යන්නෙ මේ ගැජට් අතරින් දාගත්තොත් කෝකටත් හොඳයි කියල හිතුන එකක් ගැන. මේක ඔය අමත්ක වෙන ලෙඩේ සහ වරදින ලෙඩේ තියන කට්ටියට පට්ට ගැජට් එකක්. ගැජට් එකේ නම තමයි Undo Send.

මේකෙන් කරන්නෙ mail එක යවල තත්පර කිහිපයක් යනකන් අපිට ඒක යවන එක නවත්තන්න අවස්ථාවක් දෙන එක. මේක හදපු අය කියන දෙයක් තමයි, mail එක යවල තත්පර පහක් විතර කාලයක් ඇතුලත අපිට mail එකේ අඩුපාඩුවක් තියනවනම් පේනව කියන එක. උදාහරණයක් විදිහට attach කරන්න අමතක වෙන එක, අකුරු වල සහ ව්‍යාකරණ වල තියන අඩුපාඩු ගන්න පුළුවන්. මම අත්දැකීමෙන් දන්නව attach කරන්න අමතක වෙච්ච වෙලාවට send කරාට පස්සෙ ටක් ගාල මතක් වෙනව attach කලේ නෑ නේද කියල. එතකොට ඉතින් පෙරහැර ගිහින් ඉවරයිනෙ.

ඔයාලට මතකද මම අර කලින් කියල දුන්න Gmail body එකට attach කරන්නෙ නැතුව පින්තූරයක් දාන හැටි. අන්න ඒ විදිහටම Labs වලට ගිහිල්ල මේ Undo Send feature එක enable කරගන්න තියෙන්නෙ.



වෙනද mail එක ගියාට පස්සෙ එන notification එක ඉස්සරහ දැන් Undo කියල link එකක් එයි. රූපෙ බැලුවොත් පැහැදිළිවෙයි. කරල බලල හොඳ නරක ඔය පහළ තියන කොටුවෙ ලියන්නකො. සටහන එහෙනම් මෙතනින් ඉවරයි, ඔබට ජය !

Wednesday, January 13, 2010

Google ගෙන් හරියට අහන හැටි

ඔන්න අදත් මම කියන්න යන්නෙ පොඩි දෙයක් ගැන. අපි ඉතින් මොකක් හරි දෙයක් දැනගන්න ඕන උනහම ගොඩක් වෙලාවට Google ගෙන්නෙ අහන්නෙ. මේ සටහනෙන් කියන්න යන්නෙ Google ට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් වෙන්න අපිට ඕන දේ අහන හැටි. මේ විදිහට කලොත් ඕන්නැති ගොඩක් ප්‍රතිඵල හලාගන්න පුළුවන්.



1. නිශ්චිත වාක්‍යාංශ ("Some text here")
හිතන්න ඔයාට ඕන කියල සිංහල යුනිකෝඩ් පිහිටුවන හැටි Google ගෙන් අහන්න, මේ වගේ වෙලාවට install sinhala unicode කියල හොයනව වෙනුවට ඔයාට පුළුවන් පෙරළි කොමා දෙකක් අස්සෙ දාල "install sinhala unicode" කියල හොයන්න. එතකොට Google අපිට කියන්නෙ ඔය වචන තුන ඔය පිළිවෙලටම තියන එව්ව විතරයි.

2. ඕන්නැති වචන හලන්න (-YourText)
අපිට එන ප්‍රතිඵල ගාන අඩු කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට install sinhala unicode ගැන හොයන්න ඕන, හැබැයි එන ප්‍රතිඵල වල siyabas තියෙන්න බැරිනම් install sinhala unicode -siyabas කියල හොයපුවාම ගොඩ. පේනවනෙ කරල තියෙන දේ, අර පොඩි ඉරි කෑල්ලෙන් එහා පැත්තෙ එන්න ඕන නැති වචනෙ දෙන්න තියෙන්නෙ. install sinhala unicode -siyabas -download කියල දීපුවාම siyabas සහ download කියන වචන දෙකම හැලෙනව.

3. සමාන දේවල් තියන පිටු (related:URL)
ඒ කියන්නෙ මේ වගේ දෙයක්, හිතන්නකො අපිට http://www.w3schools.com/php/default.asp කියන පිටුවෙ අපි හොයන දේ හම්බවුනා කියල, related:http://www.w3schools.com/php/default.asp කියල හොයපුවාම අර කලින් පිටුවෙ තියන දේට සම්බන්ද දේවල් තියන තවත් පිටු අපිට හොයාගන්න පුළුවන්.

4. එක Site එකක විතරක් හොයන හැටි (YourText site:URL)
හිතන්න ඔයාට මොකක් හරි දෙයක් ගැන එක site එකක විතරක් තියන දේවල් හොයන්න ඕන කියල, උදාහරණයක් විදිහට php site:www.w3schools.com කියල දුන්නොත් අපිට www.w3schools.com කියන site එකේ php ගැන ලියවුන පිටු හොයාගන්න පුළුවන්.

5. විශේෂ ලියකියවිලි වර්ගයක් හොයන හැටි (filetype:Type)
ඔයාට ඕනනම් php tutorial ගැන තියන pdf files හොයන්න, php tutorial filetype:pdf කියල දීපුවාම ගොඩ.

6. හදිස්සියකට ගානක් හදාගන්න
ඔය පොඩි ගානක් හදාගන්න අපි හැම තිස්සෙම කරන වැඩක් තමයි Calculator එක පාවිච්චි කරන එක, (5.5*10)/5 කියල දීල බලන්නකො මොකද වෙන්නෙ කියල.

7. අර්ථ දැක්වීම් හොයන්න (define:Text)
define:unicode කියල හොයපුවාම අපිට unicode කියන එකේ අර්ථ දැක්වීම ලේසියෙන්ම දැනගන්න පුළුවන්.

දැන් දන්නවනෙ කොහොමද Google ගෙන් හරියට අහන්නෙ කියල, කරල බලල ප්‍රතිචාරයකුත් කොටලම ගියානම් තමයි හොඳ. එහෙනම් සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !

පසු සටහන:
මේ විදිහට හොයන්න පුළුවන් එක එක විදි ගැන විස්තරාත්මක ලිපියක් මෙතනින් බලන්න.

Friday, January 8, 2010

Windows මුර පදය අමතක වුනොත් ගොඩදාන හැටි

අදනම් පොඩි පොඩි දේවල් වලින් කියන්න යන්නෙ ටිකක් ලොකු දෙයක් ගැන. මුලින්ම කියන්න ඕන මේ දේ වැරදි විදිහට පාවිච්චි කරන්න ඔට්ටු නෑ කියල. මම කියන්න යන්නෙ Windows වල මුර පදය අමතක උනොත් recover කරගන්න විදිහක් ගැන. මටත් මේක ගැන හොයන්න ඕන උනේ යාළුවෙක්ට වෙච්ච ඒ වගේ අකරතැබ්බියක් හින්ද. Windows කිව්වම ඉතින් ජාති ගොඩක් තියනවනෙ, මම බලපු site එකේනම් තිබ්බෙ මෙන්න මෙහෙම,

Tested on: NT 3.51, NT 4 (all versions and SPs), Windows 2000 (all versions & SPs),
Windows XP (all versions, also SP2 and SP3), Windows Server 2003 (all SPs),
Windows Vista 32 and 64 bit (SP1 also), Window 7 (all variants).
Some say also Windows Server 2008 is OK

හැබැයි ඕං මම කරල බැලුවෙනම් Windows XP SP_2 වල. නැත්නම් කට්ටිය අත්හදා බලල වැඩ කරන්නෙ නැතුව ගියොත් මට වලක් කපාගන වැලලෙන්නයි වෙන්නෙ.

මේවගේ වෙලාවට මුලින්ම බලන්න ඕන Default Administrator Account එකේ මුර පදයක් නැද්ද කියල, ඒකට logging window එකේදි Ctrl + Alt + Delete දෙපාරක් ඔබල user name එකට Administrator කියල දීල මුර පදය නැතුව ඇතුලට යන්න පුලුවන්ද බලන්න. ( Safe Mode එකෙදි මේ Default Administrator Account එක logging window එකේ පෙන්වනව, Safe Mode යන්න Windows logo එක පේන්න කලින් F8 ඔබන්න ). ඒකෙ මුර පදයත් මතක නැත්නම් ඉතින් මේ විදිහට තමයි ගොඩ ගන්න වෙන්නෙ. මේ වැඩේට අපිට Bootable CD එකක් හදා ගන්න වෙනව. මම කියන්නම්කො කරන පිළිවෙල.

වැදගත් :
මේ විදිහට recover කළායින් පසුව කලින් තිබුනු encrypted files කියවීමට නොහැකි වේ,
අන්තිම පියවරේදි read only file system කියල error එකක් එනවනම් Safe Mode එකට ගිහින්
log in window එක ආපුවාම Shut Down කරල නැවත උත්සහ කරල බලන්න.
මොකද කලින් පාර හරියට Shut Down වෙලා තිබ්බෙ නැත්නම් අවුල්.

1. මෙතනින් ISO Image එක බාගන Active ISO Burner වගේ මෘදුකාංගයක් පාවිච්චි කරල CD එක burn කරගන්න.

2. ඊට පස්සෙ මුර පදය අමතක වෙච්ච මැසිම ඒකෙන් boot කරන්න. ( මෙහෙම කරන්නනම් first boot device එක CD-ROM විදිහට BIOS වල දීල තියෙන්න ඕන, ඒකට මැසිම on වෙනකොටම DEL ඔබල BIOS ගිහින් first boot device එක CD-ROM දෙන්න )

3. දැන් තියෙන්නෙ එන උපදෙස් පිළිපදින එක තමයි. සම්පූර්ණ විස්තරයක් මෙන්න මෙතන තියනව. මේක බාගන printout එකක් අරන් හිටියොත් වඩාත් හොඳයි. මේකෙදි සාර්ථකම ක්‍රමය කියන්නෙ Administrator Account එකේ මුර පදය එක හිස් කරන එක. මෙතෙන්ට ගිහින් වැඩි විස්තර ඕනනම් බලාගන්නකො.

වැරදි කෙනෙක්ට ගියොත්, අපි බේරෙන්නෙ කොහොමද ?

මේකත් කියන එක ඇඟට ගුණයි කියල මට හිතුන. උඩ තියන මෘදුකාංගය USB Pen Drive එකක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක හින්ද මේ වගේ දෙයක් වැරදි විදිහට පාවිච්චි කරන කෙනෙක්ගෙන් බේරෙන්න තියන විදිහ තමයි first boot device එක Hard Disk කරල BIOS වලට මුර පදයක් දාන එක. හැබැයි Mother Board එකේ බැටරිය ගැලෙව්වහම ඒකත් නැති වෙනව. ඒකට විසඳුම තමයි මෙන්න මේක.


කොහොමද හොඳයි නේද? එහෙනම් ඉතින් මම දැන් යනව. ඔබට ජය !

Wednesday, January 6, 2010

ජනෙල් හතේ සැඟවුනු දෙයියන්ගෙ මාදිලිය

කට්ටිය බලනව ඇති මොකක්ද මේ හරුපෙ කියල. Windows 7 වල තියනව සැඟවුනු God Mode කියල එකක්, ඒක ගැනයි මේ කියන්න යන්නෙ. මේකනම් අලුත්ම දෙයක් නෙවෙයි, Vista වලත් තිබ්බ දෙයක්. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මේක Vista 64 bit වල කරල බලන්න එපා කියන එක. නැත්නම් කට්ටිය OS එක අවුල් ගියා කියල මාව කයි, 32 bit නම් අවුලක් නෑ. Windows 7 නම් අවුලක්ම නෑ. මෙහෙමයි සැඟවුනු දෙයියන්ගෙ මාදිලියට යන්නෙ, හරිම සරළයි.

1. මුලින්ම අලුත් folder එකක් හදන්න.
2. ඊට පස්සෙ මේ පහල තියන නමින් ඒක rename කරන්න.
GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

වැඩේ ඉවරයි ! දැන් ඇතුලට ගිහින් බලන්නකො මොනවද තියෙන්නෙ කියල.



මේකට දෙයියන්ගෙ මාදිලිය කියන්නෙ Operating System එකේ තියන ඕනම Control Panel එකකට එකම තැනකින් යන්න පුළුවන් හින්ද. නරකම නෑ නේද? කරල බලල හොඳ නරක කියන්නකො. එහෙනම් සටහන මෙතනින් ඉවරයි. ඔබට ජය !

Admin ගේ ගණන් බලන් නැතුව නිදහසේ වැඩ කරගන්න

පොදු පරිඝණක පාවිච්චි කරන ගොඩක් වෙලාවට අපිට එන ප්‍රශ්ණයක් තමයි වැඩක් කරගන්න ගියහම ඕන කරන මෘදුකාංග ස්ථාපනය කරල නැති එක. ගොඩක් වෙලාවට ඒ වගේ පරිඝණක වල admin බලතලත් අපිට නෑනෙ, ඉතින් ඒක හින්ද මෘදුකාංග ස්ථාපනය කරන්නත් බෑ. මේ වගේ වෙලාවට ඉතින් අපේ පිහිටට ඉන්නෙ Portable Applications තමයි.

අද මම කියන්නෙ ඒ වගේ Portable Applications එකතුවක් තියන PortableApps.Com කියන site එක ගැන. අද වෙනකොට ගොඩක් දෙනා අතර ප්‍රසිද්ධ Portable Firefox හදල තියෙන්නෙත් මේ ගොල්ලො තමයි. මේ site එකෙන් අපිට free and open source මෘදුකාංග ගොඩාක් බාගන්න පුළුවන්. මෙව්ව USB flash drive, iPod, memory card සහ portable hard drive වගේ ඕන එකක දාගන වැඩ කරගන්න පුළුවන්. මෙන්න තියනව එව්වගෙන් ටිකක්,

Mozilla Firefox, Portable Edition - සම්මාන දිනූ Web Browser එක
GIMP Portable - Photo සහ Image Editing වලට
VLC Media Player Portable - ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් Media Player එකක්
OpenOffice.org Portable - Microsoft අනුකූලතාව සමගින්
7-Zip Portable - File Archiving සහ Compressing වලට
InfraRecorder Portable - CD සහ DVD Burn කරගන්න
XAMPP - Apache, mySQL, PHP, phpMyAdmin

අපිට ඕන කරන දේ හොයාගන්න පහසු වෙන්න Accessibility, Development, Education, Games, Graphics & Pictures, Internet, Music & Video, Office, Operating Systems සහ Utilities වශයෙන් විස්තර සහිතව වර්ගීකරණයක් තියන මේ (Applications) පිටුව බලන්නකො.

මේ මෘදුකාංග එකක්වත් limited එව්වවත් trial version වත් නෙමෙයි, පාවිච්චි කරන්න අමතර මෘදුකාංග, දෘඩාංග ඕන වෙන්නෙත් නෑ. ඔයාට තියෙන්නෙ බාගෙන පාවිච්චි කරල යාළුවන්ටත් දෙන එක. ඔන්න ඔහොමයි admin ගෙ ගණන් බලන්නැතුව වැඩ කර ගන්නෙ. එහෙනම් අදට මම යනව. ඔබට ජය !

Monday, January 4, 2010

JQuery UI, ලොකු ලොකු දේවල් ලේසියෙන් කරගන්න

JQuery ගැන මම මීට කලින් ලිපි දෙකකදි කතා කළානෙ. මතක නෑ වගේනම් පහළ තියන links වලට කොටල එව්ව බලලම ඉන්නකො.

1. JQuery, පොඩ්ඩක් ලියල වැඩ ගොඩක් දාන්න
2. JQuery වලින් ලේසියෙන්ම AJAX ගොඩදාන්න

අද කියන්නෙ JQuery UI ගැන. ඒක JQuery පාවිච්චි කරල හදපු තවත් Free JavaScript Library එකක්. මේක පාවිච්චි කරල අපිට ලේසියෙන්ම interactive web applications හදන්න පුලුවන්. මේ උදාහරණ ටික බලන්නකො වැඩ කිඩ ටිකක් බලාගන්න.

1. Draggable
2. Droppable
3. Sortable
4. Datepicker
5. Progressbar
6. Date Range Picker

කොහොමද, හොඳයි නේද? තවත් වැදගත් දෙයක් තමයි මෙව්ව IE 6.0+, FF 2+, Safari 3.1+, Opera 9.0+ සහ Chrome 1.0 ඇතුලු ගොඩක් browsers වල අවුලක් නැතුව වැඩ කරන එක. අපිට වැඩකරන හැටි ඉගෙන ගන්න විස්තර සහිත documentation එකකුත් තියනව. මේ ඔක්කොම දේවල් මෙතෙන්ට (JQuery UI Home) ගියොත් බලාගන්න පුලුවන්. මෙතනින් බලාගන්න උදාහරණ ටික.

Code එක බාගන අපිට ඕන විදිහට වෙනස් කරන්න තමයි තියෙන්නෙ. මේ සටහනනම් ගොඩක් වැදගත් වෙන්නෙ web designing කරන අයට තමයි. තවත් මේ වගේ දේවල් ගැන ඉස්සරහට කියල දෙන්නම්කො. ඔන්න එහෙනම් මම ගියා. ඔබට ජය !

Friday, January 1, 2010

ජීවිතේ මුල් වරට - කවි පෙළක් ලිව්ව මං

ලැබූ නව අවුරුද්ද - ඔබ ඇතුලු සැම දෙනට
සුභම වසරක් වෙන්න - අවසරයි පතන්නට
වෙනසකුත් ඇතිවෙන්න - වසරෙ මුල් සටහනට
අලුත් ලෙසකින් ඔන්න - ලියනවා කියවන්ට

සින්ඩියට එක්වෙලා - තවම මං මාසයයි
අලුත් දේ කියවලා - දැනගත්තු දේ ගොඩයි
මං ලියපු දේ ගැනත් - ලැබුනු අදහස් ගොඩයි
තවත් දේවල් ගොඩක් - ලියන්නට මට හිතයි

බ්ලොග් එකට හිතමිතුරො - හැමදාම එක් වෙයන්
ලියන්නට අලුත්දේ - මගෙ හිතට වැටීයන්
ලියපුවා බලන අය - දිනෙන් දින වැඩි වෙයන්
ප්‍රතිචාර ලියන්නත් - හැමෝටම හිතීයන්

සමාවෙන්නට ඕන - පාඩමක් නෑ ඕං
අලුත් පාඩම් පෙළක් - ඉදිරියෙදි ගේන්නං
ජීවිතේ මුල් වරට - කවි පෙළක් ලිව්ව මං
ගලපගන කියවාල - හොඳ නරක කිව්වනං
Related Posts with Thumbnails